බලාපොරොත්තුව
“චූටි මැණිකේ.........චූටි මැණිකේ.......”
පාට පාට සමනල්ලු රෑනකින් පිරුණු ලස්සන උද්‍යානයක මා නතර වී මලක් නෙළාගන්නට සැරසුණා පමණි.
“දැන් කීයද වෙලාව, කී පාරක් නම් මම කතා කළා ද? ඔහොම නිදාගත්තොත් නම් හැමදාම නිදාගෙන තමයි ඉන්න වෙන්නේ.”
මේ ඇසෙන්නේ අම්මා කුස්සියේ සිට මට මැසිවිලි නඟන හඬ ය. අම්මා මට කීපවරක් කතා කළා යැයි කිවුව ද මට ඇසුණේ මේ දැන් ය. මා සිහින ලොවක අතරමංව අම්මාගේ හඬ ඇසීමෙන් ගැස්සී අවදි වූ සැටි සිහිවෙන විට සිනහා යන්නට විය.
අම්මා උදෑසනම මා අවදි කරවන්නේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාඩම් කරන්න ය. අම්මා සහ තාත්තා අව්වේ වේලෙමින් දහදුක් විඳින්නේ මට උගන්වන්නට ය. ඔවුන්ගේ බලාපොරොත්තුව මා හොඳ තැනක ඉන්නවා දැකීම ය. මා තුළ ඔවුන් කෙරේ ඇත්තේ අසීමිත ආදරයකි. මා හොඳින් ඉගෙනගෙන දෙමාපියන් ආදරයෙන් රැකබලා ගත යුතු ය.
මම අම්මා සාදා දුන් තේ කෝප්පය උගුරට දෙකට බී පාඩම් කරන්නට වීමි. මේ දිනවල පන්තියේ යහළුවන් ද එසේ මහන්සි වී පාඩම් කරනු ඇත. සාමාන්‍ය පෙළ විභාගයට ඇත්තේ තව දින කිහිපයක් බැවින් කාලය අපතේ නොයවා මම වැඩ කරන්නට වීමි. විභාගයට පෙර දින අපි සැවොම පන්සලට ගොස් බෝධි පූජාවක් පවත්වා ආශිර්වාද ලබා ගත්තෙමු. පසුදින පාන්දරම මා අවදි වී පාඩම් කළ දෑ යළි මතක් කර ගතිමි. මුහුණ සෝදා සුදු ගවොම ඇඳ කොණ්ඩය අම්මාට කියා ගොතා ගත්තෙමි. අම්මා උදෑසනම කිරිබතක් පිළියෙළ කර තිබුණි. සුභ කටයුත්තකට යාමට පෙර කිරිබත් පිසදීම අම්මාගේ සිරිතකි. මා උදේ ආහාරය නිමා කොට අම්මාට හා තාත්තාට වැන්දෙමි. මිදුලේ ඇති පහන් කණුව ළඟට ගොස් පඬුරක් ගැට ගසා අම්මා අයියනායක දෙවියන්ට බාර වූවා ය. කුඩා කල සිටම අම්මා මෙසේ කරනු මම දැක ඇත්තෙමි. ගම්වැසියන් තුළ අයියනායක දෙවියන් කෙරෙහි ඇත්තේ අසීමිත විශ්වාසයකි.
විභාගයේ ප්‍රතිඵල එන තුරු මම නිවසට වී මැහුම් ගෙතුම් කරන්නටත්, මල් පැල සිටුවීමටත්, යහළුවන් සමඟ කාලය ගත කරන්නටත් වීමි. අම්මා සමඟ කුඹුරට ගොස් එළවළු පැළවලට සාත්තු කිරීමටත් මම මහත් සේ රුචියක් දැක්වීමි. කුඹුරු යාය, එළවළු පාත්ති, දිය කඩිති, සීතල සුළඟ ගතට ගෙන එන්නේ සුවබර හැඟීමකි. අප දුප්පත් පවුලක් වුව ද අම්මා සහ තාත්තා සමඟ මගේ ජීවිතය සතුටෙන් ගලා යන්නට විය.
විභාග ප්‍රතිඵල ළඟදීම නිකුත් කරන බවට ආරංචිය පැතිරීමත් සමඟ මා යම් නොසන්සුන්තාවකට පත් වීමි. සිහිනෙන් පවා විභාගය පිළිබඳ දේ පෙණුනි. පසුදින මා අවදිවන විට පොද වැස්සක් වැටෙමින් අවට පරිසරය කුල්මත් කරන්නට විය. මල් වැස්සට මා බොහෝ කැමති ය. මම මිදුලට බැස ඒ සුන්දරත්වය විඳගත්තෙමි.
පුදුමයකි. මා සිටවූ වතුසුදු පැළෙන් ලස්සන මල් පොකුරක් පිපී තිබුණි. මට දැනුණු සතුට කියාගන්න බැරි තරම් ය. මම සතුටෙන් ඉපිළෙමින් දුවගොස් අම්මා ද මල් පැළය අසලට එක්ව ගොස් පෙන්නීමි.
දහවල් වන විට දැනගන්නට ලැබුණේ ඉතාමත් සුබ ආරංචියකි. මම විභාගය ඉතා උසස් ලෙස සමත් වී තිබුණි. එදින අම්මා මා තුරුළු කරන් සතුටු කඳුළු හෙලන්නට වූවා ය. මට දැනුණේ කියාගත නොහැකි තරම් ප්‍රීතියකි. ඔවුන් දෙපළ අපේක්ෂා කළේ මේ සතුට නොවේ ද?
උසස් අධ්‍යාපනය සඳහා මම නගරයේ විශිෂ්ටතම පාසලකට යාමට වරම් ලැබීමි. පාසලේ නේවාසිකාගාරයක් තිබූ බැවින් මා එහි නතර කරවීමට මව්පිය දෙපළ තීරණය කරන්නට වූහ. දින එක එක ගෙවී ගොස් අළුත් පාසලට පිටත් වන්නට දින ලංවෙන්නට විය. අම්මාගෙන්, තාත්තාගෙන්, යහළුවන්ගෙන්, ගමෙන් දුරස් වන්නට සිදුවෙන බව සිතෙන විටත් මගේ ගත අප්‍රාණ වන්නට විය.
කෙසේ හෝ ඒ දුක දරාගන්නට මට සිදුවිණි.
අලුත් පාසලේ අලුත් නේවාසිකාගාරයක අලුත් යහළුවන් සමඟ මිතුරු වීමේදී මා යම් අපහසුතාවයන්ට ද පත්වීමි. මා සමඟ සිටි යහළුවන්ගෙන් වඩාත් සමීප යෙහෙළිය ෂැරෝනාය. ඇය නගරයේ ධනවත් පවුලක දැරියකි. එසේ වුවත් පන්තියේ සිටියවුන්ගෙන් ඇය ලෙංගතුවූයේ මා වැනි දුප්පත් කෙනෙකු සමඟිනි. සමහරුන් ඇය ආඩම්බරකාර එකියකැයි පැවසුවද මටනම් එසේ නොසිතුණි. මා නිවසේ දේවල් පවසන විට ඇය අසා සිටින්නේ මහත් ආශාවකිනි. ඇගේ සිත කුමක් හෝ දුකකින් පෙළෙන්නේ යැයි විටෙක මට සිතුණි. දිනක් ඇගේ පෙරැත්තය නිසාම මම ඇගේ නිවසට ගියෙමි. අප ගේට්ටුවෙන් ඇතුළු වන විට ඇගේ පියා බරාඳයෙහි වූ හාන්සි පුටුවකට වී පත්තරයක් බලමින් සිටියේ ය.
“ඩැඩී.....ඩැඩී.....” ෂැරෝනා දුව ගොස් ඔහුගේ බෙල්ල වටේ අත් යවා තුරුළු කර ගනිමින්ම මාව හඳුන්වා දුන්නා ය.
“හෙලෝ පුතා, කොහොම ද?” ඔහු මා හා සුවදුක් විමසමින් කතාබහ කරන්නට විය. ෂැරෝනා තාමත් ඔහුගේ උරහිසේ එල්ලීගෙනම ය.
“මේ මොන කෝලමක් ද? පුදුම හුරතලයක් මේක”
හදිසියේම ඇසුණු වාග් ප්‍රහාරයෙන් මම ගැස්සී ඒ පස බැලීමි. මැදිවියේ කාන්තාවක් කේන්තියෙන් ෂැරෝනා දෙස බලා සිටියා ය. ෂැරෝනා ඉකිගසමින් කාමරයට දිව ගියා ය. මට කිසිවක් සිතාගත නොහැකි විය. ඇයගේ මව කුඩා කල මිය ගිය බවත් ඇයව බලා ගැනීමට පියා වෙනත් විවාහයක් කරගත් අතර කුඩම්මා නිතරම වෙනස්කම් කරන බවත් පසුදිනක ඇය මා හා පැවසුවා ය. ඈ කෙරේ මට විශාල අනුකම්පාවක් ඇති විය.
පාළුව තනිකම නිතරම දැනෙන්නට වූ අතර පන්තිකාමරය මෙන්ම නේවාසිකාගාරයද මහා හිස්බවකින් පිරී ඇතැයි මට සිතේ. මා සොයනා අළුත් බලාපොරොත්තුව මේ තුළින් ලබා ගත හැකිවේ ද? සිතේ ඇතිවෙන මෙවැනි හැඟීම් අන් කවරදාවත් මට දැනී නැත. නිවසට වී කාලය ගත කරන්නට තිබුණි නම් මේ කිසිවක් නොදැනෙනු ඇත. අම්මා නොමැතිව මා රැයක් පහන් කර ඇත්නම් ඒ කිරිඅම්මා සමඟ පමණි.
මට නිතරම සිහියට නැඟෙන්නේ අම්මාවම ය. අම්මා මෙන්ම තාත්තාත් මා මතක් කරනවාට සැක නැත. ඔවුනට ද මා නිවසෙහි නොමැති වීම දරාගත නොහැකි වනු ඇත.
මා නිවසේ සිටියේ නම් ඔවුන් දෙදෙන සමඟ කුමක් හෝ පවසමින් සිනාසෙනවා විය හැක. තාත්තා අතීතයේ සිදු වූ දෑ රස කර කර පවසන අයුරු මා අසා සිටින්නේ ආශාවෙනි. ඔහු මුහුණේ විවිධ ඉරියව් මවා පාමින් කතාව රස ගන්වන අයුරු කුප්පි ලාම්පු එළියෙන් මට කදිමට දැකගත හැකි ය. නිවසේ වූ එවැනි රසබර මතකයන් මසිතට දෝරෙගලා එන්නට විය. මේ පාළු රාත්‍රිය ඉක්මනට ගෙවෙන්නේ නම් මැනවැයි සිතුණු වාර අනන්ත ය.
“ටාං... ටාං....”
මා උඩ වීසි වී ගොස් ඇහැරුණි. ඒ නේවාසිකාගාරයේ බෙල් නාදය යි. තවත් දිනක් උදාවිය. මේ සතිය ඉක්මනට ගෙවී ගොස් සති අන්තය පැමිණෙන තෙක් මා බලා සිටින්නේ ඇඟිලි ගනිමිනි.
Waaaaaaaaw laslassanai niru.congratulations
ReplyDeleteCongratulations akka ! Good job bestie 🎆
ReplyDeletethankz nangi
DeleteCongratulations akka ! Good job bestie 🎆
ReplyDeleteLassanaiiiii....thawa lynnaaaaa...congrats..........
ReplyDeletethank you....
DeleteLassani niru..gd job👍
ReplyDeleteThankz dr
DeleteBest of luck..jiwithaye athdakeem wachana walata peralnna oyata hodta puluwn..niyami...keep it up..!!!
ReplyDeleteThankz a lot
DeleteExcellent work
ReplyDelete