DEPT OF MACO

Saturday, 15 June 2019

එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය ඇසුරෙන් අන්තර් සංස්කෘතික ලක්‍ෂණ විමසීම










 කලාත්මක දේශීය නාට්‍ය කලාවක් නොඑසේ නම් විදග්ධ සිංහල නාට්‍ය කලාවක් ගොඩනැගීම සඳහා නිවැරදි දෘෂ්ටියකින් හා ඉමහත් කැපවීමකින් පර්යේෂණ සිදුකර දේශීය නාට්‍ය කලාවක් බිහිකිරීමට පුරෝගාමී වුවකු ලෙස එදිරිවීර සරච්චන්ද්‍රයන් හඳුනාගත හැකි ය. ඔහු ලංකාවේ ගැමි නාට්‍ය නරඹමින්, අභිචාරවිධි අධ්‍යයනය කරමින්ද, තොවිල්පවිල්, කංකාරි, ගම්මඩු, පුනාමඩු, දෙවොල්මඩු ආදියෙහි සැරිසරමින් ද නාට්‍ය කලාවක් බිහිකිරීමට මේ පොළොවෙන් උකහාගත හැකි දේ මොනවාදැයි ගවේෂණය කළේ ය. නාට්‍ය ගවේෂණ, සිංහල ගැමි නාටකය, වෙස් මුහුණුද සැබෑ මුහුණුද, ශ්‍රී ලංකාවේ ගැමි නාට්‍ය ආදී ගවේශණ කෘති රචනා කරමින් සිංහල නාට්‍ය කලාව පෝෂණය කළේ ය. මනමේ, සිංහබාහු, එලොව ගිහින් මෙලොව ආවා, රත්තරන්, පබාවතී, ලොම්හංස, බවකඩතුරාව, වෙස්සන්තර, ඒකට මට හනිා, වෙල්ල වැහුම්, හස්තිකාන්ත මන්ත්‍රය, පේමතෝ ජායතී සෝකෝ, බහින කලාව, වඳින්න ගිය දේවාලේ ආදිය එතුමන් විසින් නිර්මාණය කරන ලද නාට්‍යන්ගෙන් කිහිපයකි.  

එතුමන්ගේ මනමේ නාට්‍ය ඇසුරෙන් අන්තර් සංස්කෘතික ලක්‍ෂණ විමසා බලමු. 

මනමේ කතාව ලෙස ප්‍රචලතිව ඇති ජන කතාවට මූලාශ්‍ර වී ඇත්තේ පන්සිය පනස් ජාතක පොතෙහි 372වෙනි ජාතක කතාව ලෙස හැඳින්වෙන චුල්ල ධනුග්ගහ ජාතකයයි. මනමේ කවි නාඩගම චුල්ල ධනුග්ගහ ජාතකයේම කාබන් කොපියක් ලෙස නිර්මාණය වුව ද සරච්චන්ද්‍රයන් විසින් මනමේ නිෂ්පාදනය කරන්නේ චුල්ල ධනුග්ගහ ජාතකයේ සැකිල්ල ගෙන එයට සිය පෞද්ගලික දර්ශනය ද මනමේ කුමරිය පිළිබඳ මානුෂීය විග්‍රහයක්ද එකතු කරමිනි. 

  •  මනමේ නිර්මාණය කිරීමේ දී රෂෝමාන්හි ආභාෂය ගෙන ඇත. 

“මනමේ කතාව සින්දු නාඩගමකට ආශ්‍රය කොටගත හැකිය යන අදහස මගේ සිතෙහි පිළිසිඳ ගත්තේ ජපානයෙහිදී හෝ ඇමරිකාවෙහි දී අකිර කුරසෝවා විසින් අධ්‍යක්‍ෂණය කරන ලද “රෂොම්ාන්” නම් චිත්‍රපටියට ආශ්‍රය කරන ලද්දේ අකුතගව නම් කතුවරයාගේ කතාවකි. මේ කතාව සාරාංශයෙන් ගත්විට අපේ චුල්ල ධනුග්ගහ ජාතකයටත් මනමේ ගැමි නාටකයටත් සමාන ය.”  
(මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර : පිං ඇති සරසවි වරමක් දෙන්නේ) 
ඒ අනුව මනමේ නාට්‍යයෙහි රෂෝමාන් චිත්‍රපටියෙහි ලක්‍ෂණ අන්තර්ගත වී ඇත. ජපානයෙන් බිහි වූ පසුව මනමේ නාට්‍යයෙහිද රෂෝමාන් ක්‍රමය දක්නට ඇත. එනම් නාට්‍යයෙන් සිදුවන්නේ කුමක් ද? එය එසේ සිදුවූයේ ඇයි? යන්න අවිනිශ්චිතව තැබීමේ ක්‍රමයයි. මනමේ නාට්‍යයෙහි “අනේ ඒ විපත සිදුවුණි නොදනිම් කාගේ දොසා” යන යෙදුම භාවිතා කරමින් රෂෝමාන් ක්‍රමය අනුගමනය කර ඇත.  


  • මනමේ නාට්‍ය රංග විධිවිධානයන් සඳහා භාරතයේ රංග ශෛලිය සෘජුවම බලපා ඇත. 

භාරතයේ ඇති තෙරුක්කුත්තු, තමාෂා, යක්‍ෂගාන සහ යාත්‍රා වැනි නාට්‍යවල දැකිය හැකි රංග ශෛලිය මනමේ තුළ ද ඒ අයුරින් අන්තර්ගත වේ. 
උත්තර භාරතයේ එන කෙම්ටො හෙවත් හිංචි තාලය මනමේ නාට්‍යයේ එන “ලප නොමවන් සඳ සේ සොමි ගුණෙනා” ගීතයට යොදාගෙන ඇත. 

  • ජපානයේ නෝ සහ කබුකි නාට්‍ය සම්ප්‍රදායන්ගේ ද චීනයේ සම්භාව්‍ය පීකිං ඔපෙරා සම්ප්‍රදායේ ද ලක්‍ෂණ මනමේ නාට්‍ය තුළින් දැකගත හැකි ය. එනම්, 

තදාත්ම විඝටනය හෙවත් භූමිකාව සහ නළුවා අතර දුරස්ථබාවයත් පැවතීම,  
විචිත්‍ර වෛර්ණෝපණීසෝභිත බව,  
ශෝකය, ක්‍රෝධය, ප්‍රහර්ෂය, ජුගුප්සාව, රතිය, විරහව ආදී මනෝභාවයන් නිරූපණය කිරීම සඳහා විශේෂයෙන්ම සම්මතව තහවුරු වූ මුද්‍රා, වර්ණ, රේඛා, උපකරණ සහ සංකේත භාවිතා කිරීම, 
නළු නිලියන් කරලියට පිවිසීම, පරික්‍රමණය සහ නික්මයාම සඳහා විශේෂ ගමන් විලාශ අනුගමනය කිරීම, 
වේදිකාවේ පරිසරය අස්වාභාවික ලෙස මවාපෑම 
ආදී ලක්‍ෂණ දැක්විය හැකි ය. 

  • මනමේ නාට්‍යයෙහි ස්ත්‍රිය පිළිබඳ දැක්වීමේ දී එදිරිවීර සරච්චන්ද්‍රයන් ජාතක කතා ආභාෂය මෙන්ම ලිබරල් මානවවාදී චින්තනයෙන් ආභාෂය ලැබූ බව දැක්විය හැකිය.  

ස්ත්‍රිය සහ නූතනත්වය පිළිබඳ නොරික් ඉබ්සන් වැනි නාට්‍යකරුවන් කළ නිර්මාණ ද යුරෝපීය විශිෂ්ට නවකතාවන් ද ඔස්සේ මේ චින්තනය ලබා ගෙන ඇති බව දැක්විය හැකි ය. 
ඉබ්සන්ගේ “සෙල්ලම් ගෙයහි” නෝරාත් මනමේ කුමරියත් යනු එකම අන්දමේ නූතන සංවේදීතා ප්‍රකාශ කරන සාහිත්‍යයක සහෝදරියන් වෙති. ඇනා කැරලිනා, එමා බොවාරි, ආදී ප්‍රකට ප්‍රබන්ධ චරිතයෝ වෙති. නැතෑනියෙල් හෝතෝන්ගේ “ස්කාලට් ලෙටර්” නවකතාවේ “හෙස්ටර්පුයින්” සෝරා නීල් හර්සන්ටන්ගේ “දෙයා අයිස් වර් වොචින් ගෝඞ්” නවකතාවේ “ ජැනී ක්‍රොෆෙඩාඞ්” හාපර්ලීගේ “ටු කිල් අ මොකින් බර්ඞ්” නව කතාවේ “ස්කවුට්” වැනි ප්‍රබන්ධමය ස්ත්‍රී චරිත ද මනමේ කුමරියගේම ඥාාතී සහෝදරියෝ හෝ ගමන් සගයෝ වෙති.  

  •  මනමේ නාට්‍යයෙහි අන්තර්ගත නාඩගම් ලක්‍ෂණ  

සාම්ප්‍රදායික නාඩගම් නාට්‍ය කලාවේ ආභාෂය සහිතව මනමේ නිර්මාණය වුව ද පැරණි නාඩගම් සම්ප්‍රදායට අයත් සියලු අංගයන්ම අනුගමනය නොකරන ලදි. එනම් බහුබූත, සෙල්ලපිල්ලේ ආදී නළුවන්ගේ රැඟුම් බැහැර කරන ලදි.නමුත් නාඩගම් ශෛලියට අවශ්‍ය වූ හැම සිරිතක්ම මෙහි රක්නා ලදි. 

“මේ නාටකය රචනා කරන අතර බොහෝ කාලයක් මුළුල්ලේ නාඩගම් නිෂ්පාදනය කර විශාල පලපුරුද්දක් ඇති අම්පෙ චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේ සමඟ සාකච්ඡා කොට බැහැර කළ යුතු දේ බැහැර කොට ඇතුළත් කළ යුතු දේ ඇතුළත් කොට, මෙසේ නාටකයේ ආකෘතිය සකස් කරන ලදි.” 

පොතේගුරු චරිතය නාඩගම් සම්ප්‍රදායෙන් මනමේ නාට්‍යට ලැබුණකි. 
මනමේ නාටකයෙහි සියලුම සින්දු රාග පැරණි නාඩගම්වලට අයත් ය. ඒවා සපයන ලද්දේ චාර්ල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේ විසිනි. 
නාඩගම්වල ඇති උරුට්ටු මනමේ නාට්‍යයේ ද දක්නට ලැබේ. “ලත්හිරු රැස් ලෙස පද්ම විකසිත, මණ්ඩපයෙන් චණ්ඩාතප, දෙරන හෙලා සුන්කර තොප ගොදුරු කරමි කැණහිලුනට” ආදිය ඊට නිදසුන් ලෙස දැක්විය හැකි ය. 
නාඩගම්වලින් උපුටා ගත් තාල ඉතා සූක්‍ෂම ලෙස යොදාගෙන ඇති අවස්ථා බහුලව මනමේ නාට්‍ය තුළ දක්නට ලැබේ. නාඩගම් මෙන්ම මනමේ නාට්‍යයේදී ද තාල වාදනය සඳහා මද්දල නම් දෙමළ බෙර වර්ගය භාවිත කරයි. 


  • ජාතක කතාවන් හි ආභාසය මෙන් ම සිංහලයේ එන කාව්‍ය භාෂා ධාරාව ද මනමේ තුළින් දැකගත හැකි ය. 


ශ්‍රී රාහුල හිමියන්ගේ කවිබස හා කවි යෙදුම් එලෙසින් ම සරච්චන්ද්‍රයන්ගේ නාට්‍යවල අන්තර්ගත වේ. සැලළිහිණියේ එන “ලප නොමවන් සඳ” වැනි ඇතැම් යෙදුම් එලෙසින්ම දැකගත හැකි ය. 

  • මනමේ නාටකයට ඇතුළත් වැදි නැටුම වසන්ත කුමාර විසින් කෝලම් නැටුම් ආශ්‍රයෙන් සකස් කර ගන්නා ලදි. ඒ අනුව කෝලම් සම්ප්‍රදායේ ලක්‍ෂණ මනමේ තුළ අන්තර්ගත වේ. 



මෙලෙස මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍ය තුළින් අන්තර් සංස්කෘතික ලක්‍ෂණ අධ්‍යයනය කළ හැක. 

4 comments: