DEPT OF MACO

Monday, 1 April 2019

අයියනායක පුද සිරිත

අයියනායක පුද සිරිත

ශ්‍රී ලංකාව  වූ කලී ඉපැරණි සංස්කෘතියකට හිමිකම් කියන්නා වූ රමණීය පාරාදීසයකි. ඉතා උසස් සංස්කෘතියක් හොබවන්නා වූ මෙරට උපත ලැබීමට තරම් අපි වාසනාවන්ත වීමු. සෑම සම්පතකින්ම ආඪ්‍ය වූ මෙරට තුළ පැවතුණු සරල සූගම ජීවන රටාව, ගැමියන්ගේ පුද පූජාවන්, සිරිත් විරිත් යනාදී සෑම අංගෝපාංගයක්ම ජනශ්‍රැතිය තුළින් මොනවට විද්‍යාමාන කෙරේ. බැලූ බැලූ තැන්හි පවත්වන පුද පූජාවන්ගෙන් නම් මෙරට කිසි අඩුවක් නොමැත. ගැමි ජීවිතයේ සෑම අංගයක් පාසාම යම් පුද පූජාවක් පවත්වන්නට ගැමියන් පුරුදු වී ඇත. අතීතයේ පටන් මිනිසා ගස් ගල්වලට වඳින්නට විය. සූර්යාලෝකයට, වර්ෂාවට භය පක්‍ෂපාතීව වඳින්නට විය. මේ අන්දමට අදෘශ්‍යමාන බලවේග විශ්වාස කරමින් ජනතාව සාම්ප්‍රදායිකව පවත්වාගෙන එන පුද පූජාවන් රාශියක් ලක්දිව ප්‍රචලිත ය. මෙසේ පවතින පුද පූජාවන් අතරින් අයියනායක දේව පූජාව පිළිබඳ ගෙනහැර දක්වන්නට කැමැත්තෙමි.
                   අනතුරයට දිවි රකින්ඩ උතුන් සරණ බුද්ධ                රාජ
                   ගනදුරු බිඳ හෙළි කරන්න උතුන් සරණ ධර්ම            රාජ
                   අනසක ලොව පතුරවන්ඩ පුතී විපුල දේව                රාජ
                   ජන පදයට පිහිට වෙන්ඩ අයියනාය දේව                 රාජ
                                  ශ්‍රී ලංකාවේ උතුරු මධ්‍යම පළාතේ හා වයඹ පළාතේත් ගැමි ජනයාගේ ඉමහත් ජනාදරයට පත්ව ඇති අයියනායක අස්වනු සරුසාර කර ගැනීම සඳහාත් ආරක්‍ෂාව හා ලෙඩ රෝගවලින් අත් මිඳීම සඳහාත් පුදනු ලබන දෙවියෙකි. මේ දෙවියන්ට ද්‍රවිඩ සම්භවයක් තිබුණ ද වන්නි ප්‍රදේශවල ගැමි ජනයා සිංහල සම්භවයක් ඇති දෙවියෙකුට ද වඩා ගෞරවයකින් හා භක්තියකින් පුදති. මොහු අයියනාර්, අයියනාරේ, කයියනාර්, හරිහර පුත්‍ර,මහා සාස්තා ආදී විවිධ නම්වලින් හඳුන්වනු ලැබේ. අයියනායක දෙවියන්ගේ ආයුධය වන්නේ ගිනි සළඹ ය. මිනිස් සංහතියට සෙත සලසන්නේ මේ සළඹ මගිනි. මොහුගේ ශරීරය කාල වර්ණ වන අතර වාහනය සුදු ඇතෙකි. මෙතුමන්ගේ දේවාභරණය රන් බොණ්ඩි වැලක් ලෙසට ද හත් බොන්දිය ලෙසටද වශයෙන් මත දෙකක් සඳහන් වේ. ඉන් හත්බොන්දිය හෙවත් රන් කඩු හතක් දෙවියන්ගේ දේවාභරණය ලෙස ප්‍රචලිත වේ.
                                  අයියනායක දෙවියන්ගේ උපත පිළිබඳව ජනශ්‍රැතිය ආශ්‍රයෙන් ප්‍රචාරයට පත් වූ වෘත්තාන්ත කිහිපයක්ම තිබේ. ඒවායින් කිහිපයක් මෙසේ ය.
“එක් සෘෂිවරයෙක් ඊශ්වර දැහැන වඩා උමයංගනාව අල්ලා ගැනීම පිණිස ඇය පසු පස දිව යන්නේ ඇය ද ඔහුගෙන් මිදීම සඳහා දුවන්නට වූවා ය. මේ දුටු විශ්ණු දෙවියා ඔවුන් දුවන මග රන් ඔන්චිල්ලාවක් පදින ඉතා රූමත් තරුණියක් මැවී ය. තරුණිය දුටු සෘෂිවරයා ඇයට  වශී වූ කල ඇගේ (විෂ්ණුගේ) දකුණු අතේ දරුවෙකු පිළිසිඳ ගත්තා ය. දස මසක් ඇවෑමෙන් බිහි වූ මේ දරුවා දකුණු අතින් උපන් හෙයින් කරේ - නාරේ නම් විය. පසුව මෙය කයියනාරේ, අයියනාරේ, අයියනාර්, අරියනායගම් සහ අවසානයේ අයියනායක නම් විය.”

“ඊශ්වර දෙවියා මෝහිණිය දැක ඇය කෙරෙහි කාමාසාවෙන් ඇය වැළඳ ගත්තේ එයින් ම දරුවකු උපන් අතර ඔහු හරිහර නමින් ප්‍රකට විය. පසුව හෙතෙම අයියනායක විය.”

“අයියනායක දෙවි විෂ්ණුගේ අල්ලෙන් උපන් බව මෙන්ම රාම කුමරුන් කුස පිළිසිඳ දස මස ඇවෑමෙන් අල්ලෙන් උපන් බවට ද කෝල්මුර තිබේ.”                                                                            

උපන් සෙනෙහස             යෙන්
පිළිසිඳ රාම               කුසයෙන්
දස මස පිරුණ            ගණනින්
බිහිව සිරිනද උපන්        අල්ලෙන්

මේ ආකාරයට අයියනායක දෙවියන්ගේ උපත පිළිබඳව ජනශ්‍රැතියෙහි විවිධ ආකායෙන් සඳහන් වේ.
                                        අයියනායක දෙවියන් කෙරේ පවත්වන පුද පූජාවන් පිළිබඳව සඳහන් කිරීමට මත්තෙන් අයියනායක දෙවියන්ගේ ලංකාගමනය පිළිබඳ ව සඳහන් කළ යුතු යැයි හැඟේ.
“වන්නි උපතට අනුව අයියනායක භුවනෙකබාහු රජුගේ කාලයේ ආර්යයන් සමඟ මෙහි පැමිණියෙකු බව කියයි.”

“අයියනායක දෙවි මෙහි පැමිණියේ උපුල්වත් දෙවියන්ගෙන් වරම් ලබාගෙන බවත් බුදුන් මල්ල උයනට වැඩි කල ලොව රුකීමට අවසර ලබාගත් බවත් කෝල්මුරවලින් කියවේ.”

“සිංහල දේශයට පැමිණ වැව් බැඳි රටේ ජනතාව රකිමින් ඔවුන්ගේ ගොවිතැන් කටයුතු දියුණු කර ගැනීමට ඇප උපකාර වෙමින් එම ප්‍රදේශය සමෘද්ධිමත් කරන්නැයි විෂ්ණු කළ නියෝගයකට අනුව ඔහු ඉලන්දාරි දෙවි, කම්බිලි උන්නාන්සේ, කළු දේවතා, කඩවර හා ගුරුමා දේවතා යන පිරිවර සමඟ ද මෙරටට පැමිණෙන ලදි.”

                                         මේ අන්දමට අයියනායක දෙවියන් වන්නි ප්‍රදේශවල ග්‍රාමාරක්‍ෂක දෙවියන් බවට පත් වූ අතර වැව, වනය, ගොවිතැන් කටයුතු හා ගැමියා ඔහුගේ ආරක්‍ෂාව යටතේ පැවතුණි. අයියනායක දේව ඇදහිල්ල වන්නි ප්‍රදේශවල ජනප්‍රිය වූ දේව ඇදහිල්ලක් බවට පත්වන්නට විය. වන්නි ප්‍රදේශය තුළ මෙම දෙවියන් කෙරෙහි පවතින විශ්වාසය කොතෙක්ද යත් සාමාන්‍ය ජන ජීවිතයේ ඕනෑම කාර්යයකදී අයියනායක දෙවියන් සිහිකිරීම  අනිවාර්ය පුරුද්දක්ව පවතී. බොහෝ අවස්ථාවල ගැමියන්ගේ මුවින් කියවෙන “අයියනායක පිහිටයි”, “අයියනායක දෙවි හාමුදුරුවෝ”, “අයියනායක බලා ගන්ඩ ඕනෑ”, “අයියනායක සත්තයි”, “අයියනායක පල්ල” ආදී වදන්වලින් අයියනායක වන්නි ගැමි ජනතාවගේ ජන ජීවිතය හා කොතෙක් දුරට සමීප වී ඇත්දැයි මොනවට පැහැදිලි වේ. 
                                         අයියනායක දෙවියන් විෂයෙහි පවත්වනු ලබන පුද පූජා අතර මුට්ටි මංගල්ලය හෙවත් මුට්ටි තැබීමේ මංගල්ලයට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි. මෙය වැව් බැඳි රටේ සිංහලයන් විසින් අවුරුද්දකට වරක් ගොයම් කපා අස්වනු නෙළා ගත් පසු පවත්වන අතර මෙය වැවේ වෑකන්දෙ ඇති සංහිඳ හෙවත් දේවාලයේ දී සිදු කරනු ලැබේ.
එය සිදු කරන්නේ මෙසේ ය−
                             කපු මහතා අයියනායක දෙවියන්ගේ ආභරණය වන රන් බොණ්ඩි වැල සහිත පත්තිනියගේ ගිනි හළඹ ද රැගෙන වැව් කණ්ඩියට යයි. එහි දී උදේ පාන්දර බුලත් මඬේ පුදා මුට්ටි පේකර දේවස්තොත්‍ර කියා වැව තුළ ඇති ගසක මුට්ටි දෙක මුණින් නමනු ලැබේ. එදා දවාලට කතරගම දෙවි නාමයට දානයක් දී සෙත් පැතේ. දානය පිළිගන්නෝ ගැමියෝම වෙති.
                                         අයියනායක දෙවියන් වෙනුවෙන් පවත්වන කිරි ඉතුරුම් මංගල්ලය හෙවත් වැවේ අලුත් සහල් මංගල්ලය ද අයියනායක දෙවියන් කෙරෙහි පවත්වන පුද පූජා අතර ප්‍රධාන තැනක් ගනී. අස්වනු නෙළාගත් පසු ගමේ සෑම නිවසකින් ම සහල් මිට බැගින් එකතු කරගත් සහල්වලින් වැවේ සංහිඳ අසළ කිරි උතුරයි. පිසීමේ දී සියලු කාර්යයන් පිරිමින් අතින්ම සිදුවීම සුවිශේෂ වේ. පිසීමේ කාර්යය අවසන් වූ විට දෙවියන්ට පූජා කරයි. ඉන් අනතුරුව රැස්ව සිටින සෑම ගැමියෙකුටම එයින් ස්වල්පය බැගින් බෙදා සියල්ලෝම එක්ව අනුභව කරති. මේ සෑම දෙයක්ම සිදු කරන විට ගමේ සිටින කුඩා දරුවන් ද ඊට සහභාගී කරගනිමින් ඔවුන්ට ද මෙම සිරිත් විරිත් කියා දීමට වැඩිහිටියන් අමතක නොකරයි.
                                         තව ද විවිධ කාර්යයන් සිදු කිරීමට පෙරාතුව අයියනායක දෙවියන්ට පඬුරක් බැඳීමට අමතක නොකරති. අලුත් වැවක් කපන විට, විභාගවලට යාමට පෙර, අලුතෙන් නිවසක් සාදන විට ආදී වශයෙන් විවිධ අවස්ථාවලදී ගැමියන් විසින් අයියනායක දෙවියන්ට පඬුරක් බැඳ භාරවන්නට පුරුදු වී ඇත. ගැමියන්ගේ සිත් තුළ මෙම දෙවියන් කෙරෙහි පවතින්නේ ඉමහත් විශ්වාසයකි. ගැමියන්ට යම් කිසි අසාධාරණයක් වූ අවස්ථාවලදී ඔවුන්ට නිතැතින්ම සිහි වන්නේ අයියනායක දෙවියන් ය. ඔවුන් අයියනායක දෙවියන්ට කන්නලව් කරමින් තමාට සිදු වූ විපත්තිය කියයි. එවිට දෙවියන් තමාගේ දුකට පිහිට වෙතැයි ගැමියෝ විශ්වාස කරති.
                                         ඉපැරණි ගෝත්‍රිකයෝ වනයේ සැරිසරන විට වනගත මාර්ගය අනෙකාට හෝ තමාටම දැන ගැනීම සඳහා යන එන ගමන් මාර්ගයේ කොළ අතු කැබැල්ලක් එල්ලීම සිරිතක් කොට ගත් හ. මෙම සිරිත පසු කලෙක අයියනායක දේව විශ්වාසය හා මිශ්‍රව ඇදහිල්ලක්, පූජා සිරිතක් ලෙස වර්ධනය වන්නට ඇත. වර්තමානයේ මෙය අයියනායක දෙවියන් පිදීමේ ජනප්‍රියම සිරිතක්ව තිබේ. අද වුව ද වන්නි ප්‍රදේශයේ ජනතාව වාහන ගමන් කරන මහ පාරේ වුවද ගමන් බිමන් යද්දී දෙවියන් වෙනුවෙන් කොළ අතු එල්ලන සංහිඳ අමතක නොකරති. එමෙන්ම විනෝද චාරිකා යන විට දී පවා අයියනායක දෙවියන් සිහිකර ගමන් ගන්නා වාහනයේ කොළ අත්තක් එල්ලනු දැකගත හැකි ය. මෙලෙස අයියනායක දෙවියන් අඟුරු දුම්මල, කොඩිවැල්, කිරිබත්, පුළුටු, ගොටු, පිදේනි ආදී කිසිවක් අපේක්‍ෂා නොකරන අතර ඔහු වෙනුවෙන් නම සිහිකර අතු කැබැල්ලක් එල්ලූ පමණින් එම බැතිමතුන්ට ආරක්‍ෂාව සළසා දෙනු ලැබේ. එසේ ම අයියනායක දෙවියන් පිදීම නිසා විවිධ ස්තෝත්‍ර, බුලත් මඬේ, බුලත් තිහං, බුලත් පිදුම් වැනි සුවිශේෂ පූජා, චාරිත්‍ර ද ඇති විය.
                                      කුමාර වන්නි පත්තුවට අයත් වේලාසිය නම් ස්ථානය අයියනායක දෙවියන්ගේ ප්‍රධාන දේවාලය ලෙස සැලකෙන අතර මෙහි වසරකට වරක් විශාල උත්සවයක් පවත්වන අතර එහි දී අයියනායක වෙනුවෙන් දේව දානයක් හා අඩුක්කු මංගල්ලයක්  පවත්වනු ලැබේ. එමෙන්ම දිවුල්වැව, දඹුලු විහාරයේ, හිඟුරක්ගොඩ, පුත්තලම, නිකවැරටිය, තබ්බෝව ආදී ස්ථානවල අයියනායක දෙවියන් වෙනුවෙන්ම වෙන් වූ දේවාල තිබේ. මෙසේ අයියනායක දෙවියන් වෙනුවෙන් මහත් භක්තියෙන් හා ගෞරවයකින් පුද පූජා පවත්වන වන්නියේ ජනතාව තුළ එම දෙවියන් කෙරේ ඇත්තේ දැඩි විශ්වාසයකි.



ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය

කාරියවසම්, තිස්ස, සිරිලක දෙවිවරු,1991, එස්. ගොඩගේ සහ සහෝදරයෝ

ධර්මදාස, කේ, එන්, ඕ, තුන්දෙනිය, එච්, එම්, එස්, සිංහල දේව පුරාණය, එස්. ගොඩගේ සහ සහෝදරයෝ
වන්නියේ දෙවි දේවතා සම්භවය සහ ව්‍යාප්තිය, දිසානායක මුදියන්සේ, 1996, චතුර මුද්‍රණාලය වැල්ලම්පිටිය

                                                                       නිර්මලා ප්‍රියංගනී දිසානායක
                                                                                                    ජන සන්නිවේදන අධ්‍යනංශය 
                                                                                                    කැලණිය විශ්වවිද්‍යාලය





Saturday, 12 May 2018

බලාපොරොත්තුව



“චූටි මැණිකේ.........චූටි මැණිකේ.......”
පාට පාට සමනල්ලු රෑනකින් පිරුණු ලස්සන උද්‍යානයක මා නතර වී මලක් නෙළාගන්නට සැරසුණා පමණි.


“දැන් කීයද වෙලාව, කී පාරක් නම් මම කතා කළා ද? ඔහොම නිදාගත්තොත් නම් හැමදාම නිදාගෙන තමයි ඉන්න වෙන්නේ.”


මේ ඇසෙන්නේ අම්මා කුස්සියේ සිට මට මැසිවිලි නඟන හඬ ය. අම්මා මට කීපවරක් කතා කළා යැයි කිවුව ද මට ඇසුණේ මේ දැන් ය. මා සිහින ලොවක අතරමංව අම්මාගේ හඬ ඇසීමෙන් ගැස්සී අවදි වූ සැටි සිහිවෙන විට සිනහා යන්නට විය.

අම්මා උදෑසනම මා අවදි කරවන්නේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාඩම් කරන්න ය. අම්මා සහ තාත්තා අව්වේ වේලෙමින් දහදුක් විඳින්නේ මට උගන්වන්නට ය. ඔවුන්ගේ බලාපොරොත්තුව මා හොඳ තැනක ඉන්නවා දැකීම ය. මා තුළ ඔවුන් කෙරේ ඇත්තේ අසීමිත ආදරයකි. මා හොඳින් ඉගෙනගෙන දෙමාපියන් ආදරයෙන් රැකබලා ගත යුතු ය. 


 මම අම්මා සාදා දුන් තේ කෝප්පය උගුරට දෙකට බී පාඩම් කරන්නට වීමි. මේ දිනවල පන්තියේ යහළුවන්  ද එසේ මහන්සි වී පාඩම් කරනු ඇත. සාමාන්‍ය පෙළ විභාගයට ඇත්තේ තව දින කිහිපයක් බැවින් කාලය අපතේ නොයවා මම වැඩ කරන්නට වීමි. විභාගයට පෙර දින අපි සැවොම පන්සලට ගොස් බෝධි පූජාවක් පවත්වා ආශිර්වාද ලබා ගත්තෙමු. පසුදින පාන්දරම මා අවදි වී පාඩම් කළ දෑ යළි මතක් කර ගතිමි. මුහුණ සෝදා සුදු ගවොම ඇඳ කොණ්ඩය අම්මාට කියා ගොතා ගත්තෙමි. අම්මා උදෑසනම කිරිබතක් පිළියෙළ කර තිබුණි. සුභ කටයුත්තකට යාමට පෙර කිරිබත් පිසදීම අම්මාගේ සිරිතකි. මා උදේ ආහාරය නිමා කොට අම්මාට හා තාත්තාට වැන්දෙමි. මිදුලේ ඇති පහන් කණුව ළඟට ගොස් පඬුරක් ගැට ගසා අම්මා අයියනායක දෙවියන්ට බාර වූවා ය. කුඩා කල සිටම අම්මා මෙසේ කරනු මම දැක ඇත්තෙමි. ගම්වැසියන් තුළ අයියනායක දෙවියන් කෙරෙහි ඇත්තේ අසීමිත විශ්වාසයකි.

විභාගයේ ප්‍රතිඵල එන තුරු මම නිවසට වී මැහුම් ගෙතුම් කරන්නටත්, මල් පැල සිටුවීමටත්, යහළුවන් සමඟ කාලය ගත කරන්නටත් වීමි. අම්මා සමඟ කුඹුරට ගොස් එළවළු පැළවලට සාත්තු කිරීමටත් මම මහත් සේ රුචියක් දැක්වීමි. කුඹුරු යාය, එළවළු පාත්ති, දිය කඩිති, සීතල සුළඟ ගතට ගෙන එන්නේ සුවබර හැඟීමකි. අප දුප්පත් පවුලක් වුව ද අම්මා සහ තාත්තා සමඟ මගේ ජීවිතය සතුටෙන් ගලා යන්නට විය.


විභාග ප්‍රතිඵල ළඟදීම නිකුත් කරන බවට ආරංචිය පැතිරීමත් සමඟ මා යම් නොසන්සුන්තාවකට පත් වීමි. සිහිනෙන් පවා විභාගය පිළිබඳ දේ පෙණුනි. පසුදින මා අවදිවන විට පොද වැස්සක් වැටෙමින් අවට පරිසරය කුල්මත් කරන්නට විය. මල් වැස්සට මා බොහෝ කැමති ය. මම මිදුලට බැස ඒ සුන්දරත්වය විඳගත්තෙමි. 

පුදුමයකි. මා සිටවූ වතුසුදු පැළෙන් ලස්සන මල් පොකුරක් පිපී තිබුණි. මට දැනුණු සතුට කියාගන්න බැරි තරම් ය. මම සතුටෙන් ඉපිළෙමින් දුවගොස් අම්මා ද මල් පැළය අසලට එක්ව ගොස් පෙන්නීමි. 

දහවල් වන විට දැනගන්නට ලැබුණේ ඉතාමත් සුබ ආරංචියකි. මම විභාගය ඉතා උසස් ලෙස සමත් වී තිබුණි. එදින අම්මා මා තුරුළු කරන් සතුටු කඳුළු හෙලන්නට වූවා ය. මට දැනුණේ කියාගත නොහැකි තරම් ප්‍රීතියකි. ඔවුන් දෙපළ අපේක්‍ෂා කළේ මේ සතුට නොවේ ද? 

උසස් අධ්‍යාපනය සඳහා මම නගරයේ විශිෂ්ටතම පාසලකට යාමට වරම් ලැබීමි. පාසලේ නේවාසිකාගාරයක් තිබූ බැවින් මා එහි නතර කරවීමට මව්පිය දෙපළ තීරණය කරන්නට වූහ. දින එක එක ගෙවී ගොස් අළුත් පාසලට පිටත් වන්නට දින ලංවෙන්නට විය. අම්මාගෙන්, තාත්තාගෙන්, යහළුවන්ගෙන්, ගමෙන් දුරස් වන්නට සිදුවෙන බව සිතෙන විටත් මගේ ගත අප්‍රාණ වන්නට විය. 

කෙසේ හෝ ඒ දුක දරාගන්නට මට සිදුවිණි. 
අලුත් පාසලේ අලුත් නේවාසිකාගාරයක අලුත් යහළුවන් සමඟ මිතුරු වීමේදී මා යම් අපහසුතාවයන්ට ද පත්වීමි. මා සමඟ සිටි යහළුවන්ගෙන් වඩාත් සමීප යෙහෙළිය ෂැරෝනාය. ඇය නගරයේ ධනවත් පවුලක දැරියකි. එසේ වුවත් පන්තියේ සිටියවුන්ගෙන් ඇය ලෙංගතුවූයේ මා වැනි දුප්පත් කෙනෙකු සමඟිනි. සමහරුන් ඇය ආඩම්බරකාර එකියකැයි පැවසුවද මටනම් එසේ නොසිතුණි. මා නිවසේ දේවල් පවසන විට  ඇය අසා සිටින්නේ මහත් ආශාවකිනි. ඇගේ සිත කුමක් හෝ දුකකින් පෙළෙන්නේ යැයි විටෙක මට සිතුණි. දිනක් ඇගේ පෙරැත්තය නිසාම මම ඇගේ නිවසට ගියෙමි. අප ගේට්ටුවෙන් ඇතුළු වන විට ඇගේ පියා බරාඳයෙහි වූ හාන්සි පුටුවකට වී පත්තරයක් බලමින් සිටියේ ය.

“ඩැඩී.....ඩැඩී.....” ෂැරෝනා දුව ගොස් ඔහුගේ බෙල්ල වටේ අත් යවා තුරුළු කර ගනිමින්ම මාව හඳුන්වා දුන්නා ය. 

“හෙලෝ පුතා, කොහොම ද?” ඔහු මා හා සුවදුක් විමසමින් කතාබහ කරන්නට විය. ෂැරෝනා තාමත් ඔහුගේ උරහිසේ එල්ලීගෙනම ය. 

“මේ මොන කෝලමක් ද? පුදුම හුරතලයක් මේක”

 හදිසියේම ඇසුණු වාග් ප්‍රහාරයෙන් මම ගැස්සී ඒ පස බැලීමි. මැදිවියේ කාන්තාවක් කේන්තියෙන් ෂැරෝනා දෙස බලා සිටියා ය. ෂැරෝනා ඉකිගසමින් කාමරයට දිව ගියා ය. මට කිසිවක් සිතාගත නොහැකි විය. ඇයගේ මව කුඩා කල මිය ගිය බවත් ඇයව බලා ගැනීමට පියා වෙනත් විවාහයක් කරගත් අතර කුඩම්මා නිතරම වෙනස්කම් කරන බවත් පසුදිනක ඇය මා හා පැවසුවා ය. ඈ කෙරේ මට විශාල අනුකම්පාවක් ඇති විය.

පාළුව තනිකම නිතරම දැනෙන්නට වූ අතර පන්තිකාමරය මෙන්ම නේවාසිකාගාරයද මහා හිස්බවකින් පිරී ඇතැයි මට සිතේ. මා සොයනා අළුත් බලාපොරොත්තුව මේ තුළින් ලබා ගත හැකිවේ ද? සිතේ ඇතිවෙන මෙවැනි හැඟීම් අන් කවරදාවත් මට දැනී නැත. නිවසට වී කාලය ගත කරන්නට තිබුණි නම් මේ කිසිවක් නොදැනෙනු ඇත. අම්මා නොමැතිව මා රැයක් පහන් කර ඇත්නම් ඒ කිරිඅම්මා සමඟ පමණි.

මට නිතරම සිහියට නැඟෙන්නේ අම්මාවම ය. අම්මා මෙන්ම තාත්තාත් මා මතක් කරනවාට සැක නැත. ඔවුනට ද මා නිවසෙහි නොමැති වීම දරාගත නොහැකි වනු ඇත.

 මා නිවසේ සිටියේ නම් ඔවුන් දෙදෙන සමඟ කුමක් හෝ පවසමින් සිනාසෙනවා විය හැක. තාත්තා අතීතයේ සිදු වූ දෑ රස කර කර පවසන අයුරු මා අසා සිටින්නේ ආශාවෙනි. ඔහු මුහුණේ විවිධ ඉරියව් මවා පාමින් කතාව රස ගන්වන අයුරු කුප්පි ලාම්පු එළියෙන් මට කදිමට දැකගත හැකි ය. නිවසේ වූ එවැනි රසබර මතකයන් මසිතට දෝරෙගලා එන්නට විය. මේ පාළු රාත්‍රිය ඉක්මනට ගෙවෙන්නේ නම් මැනවැයි සිතුණු වාර අනන්ත ය.

“ටාං... ටාං....”

මා උඩ වීසි වී ගොස් ඇහැරුණි. ඒ නේවාසිකාගාරයේ බෙල් නාදය යි. තවත් දිනක් උදාවිය. මේ සතිය ඉක්මනට ගෙවී ගොස් සති අන්තය පැමිණෙන තෙක් මා බලා සිටින්නේ ඇඟිලි ගනිමිනි.