DEPT OF MACO

Monday, 8 July 2019

පී.බී අල්විස් පෙරේරා හා අන්ධ කවියා පද්‍ය පන්තිය


පී.බී. අල්විස් පෙරේරා ක්‍රි.ව. 1917 මාර්තු මස තුන්වෙනි දින කොල්ලුපිටියේ පල්ලියවත්ත නමැති බිම් පියසෙහි මෙලොව එළිය දුටුවේ ය. මෙතුමා කොළඹ කවියෙහි ද්විතීය යුගය ජනප්‍රිය කිරීමෙහිලා මුල්තැනක් ගත් කවීන් කිහිපදෙනා අතර ප්‍රමුඛයෙකි. සිංහල කවියෙහි වස්තු විෂය පුළුල් කිරීමට දායක වූ අල්විස් පෙරේරා තමා ජීවත් වූ යුගයේ සමාජයීය හා ආර්ථික බලවේග මනුෂ්‍ය සමාජයේ හා ජීවිතයේ පැවැත්මට බලපෑම් කළ ආකාරය සිය කවියට වඩාත් ප්‍රබල ලෙස ඉවහල් කර ගත්තේ ය. එමෙන්ම මෙතුමා ලිහිල් බසින් කවි තැනීම ප්‍රිය කළ නූතන කවීන් අතර ප්‍රමුඛස්ථානයක් ගන්නා අතර, පැරණි ඇදුරන්ගේ පද්‍ය නීතිවලට වහල් නොවී නිදහස්ව තම සිතිවිලි හෙළි කරන මේ කවියා අගනුවර තරුණ කවි සමාජයේ සභාපතිවරයා වශයෙන් ද කටයුතු කළේ ය. මාර්ටින් වික්‍රමසිංහයන් “ නව පද්‍ය සිංහලය” කෘතියෙහි අල්විස් පෙරේරාගේ කවීත්වය ගැන මෙසේ සඳහන් කරයි. 

“තමන් ඇසූ,සිතූ දේ සංවේග දනවන බසින් වර්ණනා කිරීමෙන් අනික් තරුණ කවියෙක් අල්විස් පෙරේරාට ළං නොවෙයි.” 
“සිතින් මවනු ලබන ලොක්ය විසිතුරු ලෙස වර්ණනා කරන්නට පැරණි සිංහල කවීන් පවා නොලත් ශක්තියක් අල්විස් පෙරේරාට ඇත.” 

උක්දඬු ගින්න, මගේ රට, සංවාදය, අපේ හටන, ළමයින්ගේ සුරපුර, ජන්ම භූමි, මිය ගිය කිරිල්ලී, ලුලුම්බා, කේයස්, අනුර සීනය, සුදු මැණිකේ, කවුද ඇවිල්ලා, නාගස යටදි, අලුත් කඳුල, පබළු මිණි, රන් තලිය, උප්පලවන්නා, බුදු මැදුර, සොබා දහම, ගොවි පෙරමුණ, වේදනාව, දෙව්ලොව ගිය කම්මැලියා, ඉරුණු කොඩිය, අන්ධ කවියා, කරදාසි පහන්, සුවඳ විලවුන්, විමලරත්න කුමාරගම, වන මාලා, නොගයන ගීතය, මිණිපාන, ජපන් රටේදී ලියවුණු කවි, පුතා නිදි, නැටුම ආදී කාව්‍ය නිර්මාණ රාශියක් මෙතුමන් අතින් බිහි විය.

 පී.බී. අල්විස් පෙරේරා වූ කලී නිසර්ග ප්‍රතිභාවකින් හා පරිකල්පන ශක්තයි කින් හෙබි දුර්ලභ ගණයේ කිවිවරයෙකි. උල්පතකින් ඇරඹී කෙමෙන් දිය දහරින් සපිරි සොඳුරු දිය ඇලි, පෙණ බුබුළු, දියසුළි නඟමින් කවිකෙත සුසරු කරමින් ද, සුළවතුන් පිනවමින් ද ගලාගිය ඔහුගේ කවි නදියෙහි සුනිල් දිය දහර මෙන් ම බොරදිය ද නොගැලුවා නොවේ. දෙතිස් වසරක් පුරා ගලාගිය ඔහුගේ කවි දහර විවිධ වස්තු විෂයෙන් විවිධ විරිතෙන් හා විවිධ කාව්‍යෝක්තීන්ගෙන් සමන්විත නිර්මාණ, පද්‍ය දස දහස් සංඛ්‍යාවද ඉක්මවීය. ජනතා හිතවාදී කවියෙකු ලෙස පැවතිය යුතු අභියෝගශීලී භාවය ද නිර්මාණශීලී කවියෙකු ලෙස තිබිය යුතු නිහතමානී භාවය ද ඔහු සතුව පැවතුණි. කොළඹ යුගයේ විශාලතම කාව්‍ය නිර්මාණ සංඛ්‍යාව දැයට දායාද කළ ඔහු ස්වකීය ජන්මභූමිය නම් කාව්‍යයෙහි හැඳින්වීමෙහි මෙසේ සඳහන් කරයි. 

“හිතවතුන් මා ඔසවා මුරුංගා අත්තේ තබන තරමට මට කවි ලිවීමට පුළුවන්කමක් නැත. මගේ බැරිකම පුළුවන්කමට වඩා වැඩිය. මා ලියන්නට පටන් ගත්තේ එකොළොස් අවුරුද්දේ සිට ය. එදා සිට අද වනතුරු කවි දස දහස් ගණනක් මා අතින් ලියවෙන්නට ඇත. ඒවායින් හොඳ කවි තුන් හාරසියයක් පමණ ඇතැයි සලකමි.සෙස්ස ගැන කිසිත් නොකියමි. ”   
 අංගුත්තර නිකායේ වතුක්ක නිපාතයේ දී චිත්තා කවි, සුත කවි, අත්ථ කවි, පටිභාන කවි යනුවෙන් කවීන්ගේ ආකාර හතරක් හඳුන්වා දී ඇත. ඒ පිළිබඳ අංගුත්තර නිකායට්ඨකථා විවරණයට අනුව සලකා බැලීමේ දී, අල්විස් පෙරේරා තුළ මේ ලක්‍ෂණ හතරම විද්‍යාමාන වේ. 
ඒ ඒ නිර්මාණකරුවකන් නිර්මාණකරණයට පිවිසෙන යුගය ද තත්කාලීන රසඥාතාව හා විචාරාවබෝධය ද ඔවුන්ගේ නිර්මාණ සඳහා කිසියම් බලපෑමක් සිදු කරයි. කොළඹ යුගයේ මුල් පරපුරේ කවීන්ට වඩා දෙවන පරපුරේ කවීන් සමකාලනී විඥාානයකින් යුතුව කාව්‍යරචනයට යොමු වූ බව පෙනී යයි. ඔවුහු වස්තු විෂය, කාව්‍යභාෂාව, කාව්‍ය සංකල්පනා හා ජීවන දෘෂ්ටිය අතින් එතෙක් වැඩෙමින් ආ කාව්‍ය සම්ප්‍රදායෙන් වෙනස් මාවතකට අවතීර්ණ වූහ. 

වස්තු විෂය පක්‍ෂයෙන් සැලකීමේදී, ස්වභාව සෞන්දර්ය වර්ණනා, ප්‍රේමකාව්‍ය, සමාජ විවේචන, ආගමික කාව්‍ය හා කවිකතා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළහ. කාව්‍යමය පරිකල්පනය හා භාෂා භාවිතය අතින් කොළඹ මුල් පරපුරේ නිර්මාණවලට වඩා සුගම හා සුඛනම්‍ය නිර්මාණ බිහි වූයේ අල්විස් පෙරේරා ඇතුළු කවීන් නියෝජනය කළ දෙවන පරපුරේ නිර්මාණ සමයේ දී ය. සමාජීය සාහිත්‍ය අධ්‍යයන සංකල්පය යටතේ අන්වේක්‍ෂණය කිරීමේ දී මෙම නිර්මාණ ස්වරූපය සඳහා එම 
යුගයේ සාමාජික, දේශපාලනික, ආර්ථීක, සංස්කෘතික හා භාවමය පරිස්ථීතිය ද හේතු වී ඇති අයුරු ප්‍රත්‍යක්‍ෂ වේ. 

 දණ්ඩින් ආචාර්යවරයාට අනුව කාව්‍ය සම්පත්තියට හේතුවන ප්‍රතිභාවේ ප්‍රකාරත්‍රයකි. ඒ නෛසර්ගික ප්‍රතිභාව, බහශු්‍රැතතාව හා අමන්දාභියෝගයයි. අල්විස් පෙරේරා මෙකී ත්‍රිවිධ ගුණයෙන් ම පෝෂණය වූ කවියෙකි. අල්විස් පෙරේරා ප්‍රතිභාපූර්ණ කවියකු මෙන් ම සංවේදී සහෘදයකි. ඒ බව සනාථ කිරීම සඳහා ඔහු විසින් ලියන ලද “කේයස්” “විමලරත්න කුමාරගම” වැනි අපදාන කාව්‍ය ආශ්‍රය කරගත හැකි ය. තමා අත්විඳින සුඛ දුක්ඛ වේදයිතයන් අපූර්වාකාරයෙන් වටහා ගන්නා ධී ශක්තියක් අල්විස් පෙරේරාට උරුම වී තිබුණ බව ඔහුගේ බොහෝ නිර්මාණවලින් විශධ වේ. 

 කාව්‍යමය පරිකල්පනයෙහලිා ඔහු දක්වන කුසලතාව නිසා සුලභ චරිත, අවස්ථා, ස්ථාන, අදහස් ආදිය දුර්ලභ අපූරු මුහුණුවරක් ගනියි. ඔහුගේ ප්‍රථම කාව්‍ය වන “උක්දඬු දුන්නෙහි” ප්‍රභාතයේ සුන්දරත්වය පරිකල්පනය කරන්නේ මෙසේ ය. 

“උදය’ග හිසින් නැග ලොව නරඹන ළහිරු 
අරුණලු හූයෙන් අමුණන විට පිනි පොකුරු 
සමනලි බඹර මිණි පලඳිනු දැක තඹරු 
විදහා පිල් කලප් රඟ දෙත රණ මොනරු” 

උදය ගිරිහිසට නැඟ ලොව නරඹන ළාහිරු සිය අරුණාලෝකය නමැති නූල්වලින් පිනි පොකුරු අමුණන විට නෙළුම් මල් සමනල බමර නැමති මිණිකැට පලඳිනු දැක මොනරුන් සිය පිල් කළඹ විදහා ගෙන රඟදෙන කල්හි....... 
  
යනුවෙන් සූර්යෝදයේ සෞන්දර්ය වාර්තා නොකර රූපණය කරයි. ඔහුගේ “තාගෝර් ගුරුදේවයාණෙනි” නම් නිර්මාණයෙහි දී තාගෝර් මහ කිවිඳුගේ කවිසමය පිළිබඳ සිය සිතෙහි නැගෙන වත්සලාව හා ආහ්ලාදය සොබා දහමෙන් උපයා ගන්නා සිද්ධි හා අවස්ථා මාලාවකින් මුර්තිමත් කර දක්වයි. එහ ිහැම යෙදුමකින් ම සංකේතවත් වන්නේ තාගෝර් කවියාගේ ස්වභාව සෞන්දර්ය විඥාානය හා දාර්ශනික භාවයයි. 

“ගුවන් කුමරිය ළැමද සිපගත් 
වළාපටලක කුසුම් ගොමුවක 
කසුන් තරුවක ළහිරු රැස් බිදුවක 
සුළං වැද නටන කුඹුරක........” 

තරුණ කවීන්ගේ නිර්මාණ සඳහා තාගෝර්ගේ ආභාසය පමණක් නොව බටහිර අද්භූතවාදය හෙවත් රොමැන්ටික්වාදය අනුගමනය කළ කවීන්ගේ නිර්මාණ ද බලපෑවේ ය. කලාකරුවන්ගේ තර්ක මාර්ගයට වඩා පරිකල්පනයට වැඩි නිදහසක් ලැබුණු මෙම සංකල්පය යටතේ ස්වභාව සෞන්දර්ය, ආදරයේ මහිමය, මනුෂ්‍ය ගූඪත්වය, සන්ත්‍රාසය ආදී විෂය පථ පිළිබඳ මහාචාර්ය විමල් දිසානායකයෝ මෙසේ සඳහන් කරති. 

“ස්වභාව සෞන්දර්ය පිළිබඳ වර්ණනා පැරණි සිංහල සාහිත්‍යයෙහි ද බහුල වශයෙන් දක්නා ලැබේ. එහෙත් සොබා සිරිය අලළා කොළඹ යුගයේ කවීන් රචනා කළ පද්‍යවල කිසියම් විශේෂත්වයක් ඇත. එනම් ස්වභාවධර්මයට සචේතනිකත්වයක් ආරෝපණය කොට කවියාත් සොබාදහමත් අතර සම්බන්ධය ස්ත්‍රී පුරුෂ සම්බන්ධය නියායෙන් දැක්වීමයි. එම ආකල්පය අල්විස් පෙරේරාගේ මතු දැක්වෙන ප්‍රකාශයෙන් මැනවින් හෙළිවේ.” 
“සැන්දෑ වලාවක සිට තොල් පෙති මතුළ 
 සොබාදහම ඔබ රෝහිණි මම අතුල” 
 “ළිඳ ළඟ” නමැති පද්‍ය අල්විස් පෙරේරා මිනිස් දිවි පෙවතින් බිඳක් වර්ණනා කරනු පිණිස රචිත පද්‍යන්ගෙන් වඩාත් හොඳ එකකි. ඒ පද්‍යයෙහි විරිත තාලය හා අනුප්‍රාසය එයින් වර්ණනා කෙරන වස්තුවට උචිත ය. එහෙයින් කාලයත ්අනුප්‍රාසයත් කන පිනවන කිකිණි හඬක් නොව පද්‍යයන්ගේ අරුත් උද්දීපනය කරන ශබ්ද ධ්වනියක් වෙයි. 
  
පොදුජන ජීවිතය වැලඳගෙන උපන් කවියෙකු වූ පී.බී.අල්විස් පෙරේරාගේ කවි ඇස යොමු නොවූ පැතිකඩක් ජන ජීවිතයේ නොවූ තරම් ය. එතුමන්ගේ “අන්ධ කවියා”පද්‍ය පන්තයිට වස්තු විෂය වී ඇත්තේ සිය මිය ගිය බිරිඳ පිළිබඳ අතීත අනුස්මරණ හා කවියාගේ සිත තුළ පහලවන හැඟීම් ය. සවස්භාගයේ තම දියණිය සමග පරිසරයෙහ ි චමත්කාරය විඳිමින් සිටින කවියාට තම මනසට නැගෙන්නේ ශෝකජනක ස්වරූපයකි. පෙර සේ සිය අත්දැකීම් ලියා තැබීමේ අවකාශයක් නොමැත. අතීතයේ මෙන් නොව පරිසරයේ සුන්දරත්වය විඳින්නේ මනසිනි. 

“විසිතුරු සිතුවිලි අතරින් පැනයති මී මැස්සෝ ගුමු ගුමුව දිදී 
අසරණ මා දැක අමතන විලසින් සුළඟින් තුරුපත් එකට වදී 
වන විහඟුන්ගේ ගීතය ඉහිරෙයි විළිකුන් පළතුරු සමග බිඳී 
ලෝකය පිබිදී දොඩමලු වී ඇත මා පමණක් නෙත් අඳව නිදී” 

 ප්‍රියයන්ගෙන් වෙන්වීම නිසා මෙන් ම සිය අන්ධ භාවය නිසා හටගන්නා අනුවේදනීය අත්දැකීම් කාව්‍ය නිර්මාණයෙන් අපූර්ව ලෙස ප්‍රතිනිර්මාණය කෙරේ. එතුමා සිය සිතැඟියාවන් සහෘදයා වෙත රැගෙන යාමට භාෂාව ප්‍රබල ලෙස යොදාගනී. එතුමන් සතු කාව්‍යකරණයේ නිසඟ හැකියාව එමගින් මනාව පිළිබිඹු කෙරේ.  

“සිරුරේ දාහය සනසන නලවැල් සිසිලස ගත් බව දනිමි වැවේ 
රත්සර හෙළැඹුල් නිලුපුල් මීගඳ නැහැ පුඩු අතරින් ළයට කැවේ 
මායා සිහිනය මැද්දේ පිහනිමි එනමුදු නොදකිමි එළිය ලොවේ 
හදවත කොඳුරයි එහි සටහන් ළඟ හිඳ පිටපත් කළ හැකිද දුවේ”  

සිරුරේ විඩාව නිවාලන්නේ වැව්දිය සීතල උකහාගෙන හමාගෙන එන සුළං රැලි මගිනි. දියෙහි පිපි මල්වල සුවඳ කදිමට දැනේ. ලොව එළියක් නොපෙනුන ද කවියාගේ සිතට දැනෙන සිතුවිලිවල නිමක් නොමැත.  
කොළඹ යුගයේ අන් කවීන් අතර අල්විස් පෙරේරා ශූරීන් නව සංකල්පනා රූප නිර්මාණයට දක්‍ෂ කවියෙකි. 
“වැව් බන්දේශිය සොබා සොඳුරි වෙත පිළිගන්වන විට ඇඹුල තබා ” 
වැව් බන්දේසිය රූපකයකි. සොබා සොඳුරිය තවත් රූපකයකි. වැව වෙනදා මෙන් ස්වභාව සෞන්දර්යය ගමට ප්‍රදානය කරනවා යන්න මින් කියවේ. මෙය අපූරු කාව්‍ය සංකල්පනාවකි. 


“ආලය උල්පත් දෙතැනක පිපිරී මහ ගංගායක් පරිදි සෙනේ 
උතුරා යද්දී නැංවූ සේතුව නොදකී ඇස් දෙක සිතට පෙනේ” 

කවියා ඉතා විචිත්‍ර වූ සංකල්පනාවක් මැවීමට ගන්නා උත්සහය පැහැදිලි ය. ස්වාමියා හා බිරිඳ අතර ඇතිවන ආදරය මහා ගංගාවකි. ගංගාව දෙගොඩතලා යාමට ඉඩ නොදී ආරක්‍ෂා කරන්නේ ගංගා දෙවුරයි. මෙම ඉවුරු දෙක යා කරන ඒදණ්ඩ දියණිය යි. 
 මෙම සංකල්ප රූප මගින් සහෘදයාගේ පසිඳුරන් මාර්ගයෙන් ඔහුගේ සිතට ඇතුළු වී භාව ප්‍රබෝධයක් ඇතිකරමින් මෙම අවස්ථාව සහෘද සිතෙහි උත්කර්ෂවත් ව තැන්පත් කරන්නට කිවිඳාණෝ සමත් වෙති.  
 “අන්ධ කවියා” මෙතුමාගේ කාව්‍යමය පරිකල්පන ශක්තිය විශදවන අගනා නිර්මාණයකි. සැන්දෑ වෙලපෙති පරයන තොල්ඇති දූ මැණිකක් තමාට උරුමකර මියගිය බිරියගෙන් දියණියට ලැබුණු හැඩරුව දැකගැනීමේ වරම් අහිමිවීමේ ඛේදයෙන් ද තැවෙන එහෙත් මනසින් ලොව දකින, සවනින් ලොව අසන අන්ධ කවියෙකුගේ සිත් හසර කියවෙන අයුරින් මෙම අත්දැකීම පරිකල්පනය කොට ඇත. සංවේග ජනක සිද්ධි කථනයට යොදා ගැනීමෙන් සිංහල ශ්‍රවණේන්ද්‍රියෙහි රැඳුණු ජනප්‍රිය චරිතද උපයුක්ත කාව්‍යෝක්තිද චමත්කාර ජනකය. 

“උණුසුම සිසිලස හඳුනමි ගුණයෙන් 
රෑ දාවල එක පරිදි ගෙවේ 
කැලඹී පාවෙමි දුම් රොටුවක් මෙන් 
යටගිය මතකෙහි සිහින ලොවේ” 

මෙහි දෑස නොපෙනෙන අන්ධ පියෙකුගේ හැඟීම් මනසින් දකින කවියෙකුගේ ස්වරයෙන් පරිකල්පිතය.

කාව්‍යයකට අර්ථ ධ්වනිය මෙන් ම ශබ්ද ධ්වනිය ද එකසේ ම වැදගත් වේ. ඊට හේතුව කාව්‍යය වූ කලී ශබ්දයේත් අර්ථයේත් එකතුව වන බැවිනි. කාව්‍යයක ශබ්දය වූ කලී අර්ථයේ දෝංකාරය යි. ටී. එස්. එලියට් නම් විචාරකයා දක්වන්නේ කාව්‍යයක ශබ්දයෙන් ම කරන ගීතවත් බව අර්ථයෙන් වෙන් කළ නොහැකි බව යි. අන්ධ කවියා කාව්‍යකරණයේ දී මාත්‍රා 30 කින් පමණ යුත් දීර්ඝ විරිතක් යොදාගනිමින් කවියාගේ සිත තුළ පහළ වන ශෝකීජනක ස්වභාවය පළ කිරීමට උචිත ධ්වනියක් නිර්මාණය කර ඇත.  
 කවියා නිරන්තරයෙන් ම සහෘදයාගේ බුද්ධියට මෙන් ම හදවතට අමතන්නෙකි. ඔහු සිය වචන මාර්ගයෙන් භාව හෙවත් හැඟම් සහෘදයාගේ හදවතට පිවිසවමින් එහි කම්පනයක් ඇති කරලයි. කාව්‍ය පුරාවටම අන්ධ කවියා පිළිබඳ අනුකම්පාවක් සහෘද හදවත් තුළ ඇති කරන්නට අල්විස් පෙරේරා සමත් වී තිබේ. 

“ඔබගේ මව සහ මා එක් දවසක් අවර’ඹරෙහි හිරු ගිලෙන පැයේ 
හිඳගෙන හුන් විට පුලින තලාවක ඈ විමසූවා වැතිර ලයේ 
සැන්දෑ වෙළපෙති පරයන තොල් ඇති දූ මැණිකක් ඔබ රිසිද පියේ 
ඇය කී වදනෙහි සැබෑව දක්නට පෙර මගෙ නෙත් දෙක අඳව ගියේ” 

මෙම කවියේ පද සංකල්පනාව හද සසල කරවන කාව්‍යෝක්තියකින් ඉදිරිපත් කරයි. තම දියණිය ගැන පුලින තලාවක හිඳ පැතූ පැතුම් ඉටුවන විට ඔහුගේ නෙත් අන්ධකාර වී ගිය ආකාරය ද බිරිඳගේ වියෝව ද ශෝචනීය වේ. දියණිය මහඟු මිණකි. ඇය දක්නට නොහැකි වීම දෛවයේ සරදමකි. 


“මදුමල් පෙතිවල සිනිඳු මොලොක් බව මවගේ අත්වල තිබුණි එදා 
ඈ නැති වූයේ ඒවා කැටිකොට පොඩි දුවගේ අත් දෙකට පුදා 
නා රොන් වැනි මුදු කෙහෙරැලි පීරා සුවඳ අලෙව් දී දෙකට බෙදා 
සරසන සැටි ඔබ දක්නට නොලැබී ඇතිවෙයි අඳ ඇස්වලට රුදා” 

අතීත ස්මරණයේ යෙදී සිටියදී තම බිරිඳ මතක් වී සිත සසල වේ. බොඳ වූ සිතුවමක් සේ සිතේ මැවෙන බිරිඳගේ රුව ඔහ ුශෝකයට පත් කරයි. තම දියණියව දක්නට නොමැතිව තැවෙන අන්ධ කවියා පිළිබඳව සහෘද සිත ්සතන් කෙරේ ඇතිවන්නේ අපමණ සංවේගයකි. අන්ධ කවියා පවසන 

“මවගේ කටහඬ වෙනසක් නොමැතිව සැඟවී ඇත ඔබ මුවෙහි දුවේ  
ඈ දුන් රන්මල් මදහස එපරිදි අතගා ඇත්දැයි බලමි මුවේ” 

ආදී පද්‍යයන් තුළින් අන්ධ කවියා කෙරේ ප්‍රබල අනුකම්පාවක් ඇතිවන අවස්ථාවක් ලෙස දැක්වීමට පුළුවන. රන්මල් මදහස යන දෙපදාලංකාරය කවියා තම බිරිඳගේ සිනහවේ සුන්දරත්වය අත්විඳි ආකාරය නිරූපණය කරයි. දියණිය හා සවස් භාගයෙහි කාලය ගත කරන කවියාට තම බිරිඳ හා ගතකළ අතීත ජීවිතය සිහිවී ඒ සියල්ල තම දියණිය හමුවේ පවසයි. ඉන් සිදුවන්නේ පියා පිළිබඳ දැඩි ශෝකයක් දියණිය තුළ ඇතිවීමයි. 

“ඇයි මෙතරම් තෙත පොඩි කම්මුල්වල සුරතල් දුව අඩනවද අනේ 
ඔබගේ කඳුළැලි අතගෑවෙන විට ලේ තැවරෙන මෙන් අතට දැනේ” 

පියා පිළිබඳ ශෝකයෙන් වැළපෙන දියණියගේ කඳුල තම අත තැවරෙන විට කවියා තුළ ඇතිවන්නේ දැඩි ශෝකයකි. පීඩනයකි. එය ප්‍රකාශ කිරීම සඳහා ලේ තැවරුණු මෙන් යන යෙදුම භාවිත කළද ඉන් ශෝකය හෝ දුකකට වඩා භීතියක් ඇති වන බැව් පැවසිය යුතු ය. කාව්‍යයකරණයේ දී කවියෙකු තමා භාවිත කරන වචන යොග්්‍ය පරිසරයෙහි හැසිරවීමට වගබලා ගත යුතු ය. එසේ නොවූ කල්හි සිය අත්දැකීම් ප්‍රකාශ කිරීමට කවියා සමත් නොවේ. 

 එසේ වුව ද අන්ධ කවියෙකුගේ මනෝභාවය ප්‍රකාශ කිරීමට උචිත ආකෘතියක් භාවිත කිරීමට අල්විස් පෙරේරා සමත් වූ බව මෙහිදී පැවසිය යුතු ය. පරිකල්පනයෙන් යුතු රසවත් භාෂාවක් යොදාගනිමින් අන්ධ කවියා සතු ශෝකී මනෝභාවය සහෘද හදවත් වෙත සමීප කරන්නට ඔහු තුළ වූ කාව්‍යකරණයේ හැකියාව අගය කළ යුත්තකි.
  
කාව්‍යමය පරිකල්පනයෙහි ලා අල්විස් පෙරේරා ප්‍රකට කරන නෛසර්ගික ප්‍රතිභා ශක්තිය දස  දහසින් නිර්මාණ විකසිත වුණ ු ඔහුගේ කාව්‍ය උද්‍යානයෙහි සැරිසරන සහෘදයන්ට විවිධත්වයෙන් හා විචිත්‍රත්වයෙන් යුතුව ප්‍රත්‍යක්‍ෂ කරගත හැකි ය. ඒ නිර්මාණ පුෂ්පයන්ගේ වර්ණ ගන්ධ නොයෙක් අයුරින් හඳුනාගත් ලක්‍ෂ සංඛ්‍යාත සහෘද භාංගයන් ශබ්ද මාධුර්යයෙන් හා අර්ථ මාධුර්යයෙන් මෝහනය කරවා නිර්මාණකරණයටත් වින්දනයටත් විචාරයටත් පෙලඹවු ස්වකීය අනන්‍යතාව පිළිබඳ සංලක්‍ෂණ ස්ථාපනය කළ කිවිවරයකි. 

1 comment: